Tuesday, July 18, 2017

සීනි සම්බල්

  
ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ රසම රස සීනි සම්බල් එකක් හදාගන්න විදිය.. මේක අපි බාගත්තේ අපේ අම්මා යූ ටියුබ් චැනල් එකෙන්.. මේකේ හරිම පැහැදිලිව විස්තරේම තියනවා...


Monday, July 17, 2017

Prawns curry

  ඔන්න අපි අද අරන් ආවා රසම රස ඉස්සෝ කරි එකක්(prawns curry) හදාගන්න විදිය.. මේ වීඩියෝ එකත් අපි ගත්තේ යූ ටියුබ් එකෙන්.. හදලා බලන්නකෝ ඔයාලත්...

Thursday, July 6, 2017

Spicy Seafood Noodle - ස්පයිසි සී ෆූඩ් නුඩ්ල්ස්


  අවශ්‍ය දෙවල්:
  • නූඩ්ල්ස් පැකට් 1ක්
  • ඉස්සෝ 100gක්
  • කුකුල් මස් 100g
  •  චිලිපෙස්ට් මේස හැඳි 2ක්
  • කෑලි මිරිස් මේස හැදි 2ක්
  • සුප් කැට 2ක්ල
  • ලුනු කොළ 100gක්
  • ලූනූ ගෙඩි 1ක්
  • අඹරාගත් ඉඟුරැ 
  • සුදුලුනු මේස හැඳි 1ක්
  • සෝයා සෝස් මේස භැඳි 2ක්
  • ලුණු
  • තෙල්

  සාදා ගන්නා අයුරු:

  නූඩ්ල්ස් ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා වතූර පෙරා හරින්න. බඳූනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වු පසු ඉඟූරැ ,සුදුලුනු ,ලුනු එකතූ කරන්න. එයට ඉස්සෝ ටිකත් කුඩාවට කපාගත් කුකුල් මස් දමා බදින්න . ඊලගට කෑලි මිරිස් ,චිලි පේස්ට් ,සෝයා සෝස් සහ කුඩු කරගත් සුප් කැට එකතු කරන්න. මෙම මිශ්‍රණයට තම්බාගත් නුඩ්ල්ස් එක්කර හීනියට කපාගත් ලුනු කොළ ටිකත් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පිළිගන්වන්න.

Italian Baked Chicken and Pasta - බේක් කළ ඉතාලි චිකන් පාස්තා


  අවශ්‍ය ද්‍රව්‍ය :

  • තම්බා ගත් පාස්තා (pasta) කප් 1
  • ඔලිව් තෙල් (olive oil) තේ හැදි 2
  • කුඩ කැබලි කපා ගත් කුකුල් මස් 
  • කප්  ½කොටුවට කපා ගත් රට ලූණු 
  • කප් ½චොප් කර ගත් සුදු ලූණු බික් 1
  • කොටුවට කපා ගත් තක්කාලි 400g
  •  (ග්‍රේට් කර ගත්) මොසරැල්ලා චීස් (mozzarella cheese) කප් 1
  • චොප් කර ගත් පාස්ලි (parsley) කප් ¼
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • පාන් කුඩු කප් ¼
  •  (ග්‍රේට් කර ගත්) පාමසන් චීස් (parmesan cheese) කප්  ¼
  • බටර් තේ හැදි 1


  සාදා ගන්නා ආකාරය :

   පෑන් එකක් ලිප තබා ගෙන එයට ඔලිව් තෙල් දමා සාමාන්‍ය ගින්දරේ තෙල් රත් වීමට තබන්න. තෙල් රත් වූ  විට එයට කුකුල් මස් එක් කර විනාඩි 3ක් පමණ පිස ගන්න. එයටම රට ලූණු සහ සුදු ලූණු එකතු කර තවත් විනාඩි 5ක් පමණ කුකුල් මස් තැම්බී රට ලූණු මෘදු වන තුරු පිස ගන්න. දැන් වෙනම භාජනයක් ගෙන එයට සාදා ගත් මස් ටික, තම්බා ගත් පස්තා, තක්කාලි, මොසරැල්ලා චීස්, පාස්ලි, රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් බටර් ගා ගත් 8 x 8 x 2 ප්‍රමාණයේ බේකින් තැටියක් ගෙන එයට මිශ්‍රණය දමා ගන්න. දැන් එයට උඩින් පාමසන් චීස් සහ පාන් කුඩු මිශ්‍ර කර ගෙන ඉස ගන්න. කලින් 200°C ට රත් කර ගත් අවන් එකක විනාඩි 30ක් පමණ රන්වන් දුඹුරු පැහැ වන තුරු බේක් කර ගන්න.

  වැදගත් :

මේ සඳහා තමන් කැමති මස් වර්ගයක් භාවිතා කරන්න පුලුවන්.පාස්තා තැම්බීමේ දී නටන වතුරට ලුණු හා තෙල් ටිකක් එක් කර ගෙන අමු පාස්ටා දමා තම්බා ගන්න. විවිධ පාස්තා වර්ග තැම්බීමට ගත වන වේලාව වෙනස් වෙනවා.
.

Apple Roses - ඇපල් රෝස මල්


ඔන්න දැන් මේ කියන්න යන්නේ ගොඩාක් රස, ඒ වගේම හරිම ලස්සන කෑමක් හදා ගන්න විදිහ.

  අවශ්‍ය දේවල්:

  • පෆ් පේස්ට්‍රී ෂීට් (Puff pastry sheet) 1
  • රතු ඇපල් ගෙඩි (Red apple) 2
  • ලෙමන් ගෙඩි (Lemon) 1/2
  • කැමති වර්ගයකින් ජෑම් (Jam) 
  • තේ හැදි 3
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • අයිසිං සීනි ටිකක් (සරසා ගැනීමට)

  සාදා ගන්නා ආකාරය :

   වීදුරු බෝල් එකක් වැනි සුදුසු භාජනයක් ගෙන එයට වතුර දමා ලෙමන් ගෙඩි භාගයේ යුෂ එයටම මිරිකා දමා ගන්න.දැන් ඇපල් ගෙන සෝදා පිරිසිදු කර දෙකට කපා මැද ඉවත් කර ගෙන සිහින් පෙති කපා ලෙමන් යුෂ සහිත වතුරට දමන්න.දැන් මයික්‍රොවේව් අවන් එකක උපරිම බලයෙන් (High power - හයි පවර් එකේ) විනාඩි 3ක් පමණ ඇපල් පෙති ටික මදක් මෘදු වන තුරු තබා ගෙන වතුර පෙරා ගන්න. මයික්‍රොවේව් අවන් එකක් නොමැති නම් නටන උණු වතුර ගෙන එයට ලෙමන් ගෙඩි භාගයේ යුෂ දමා ඇපල් පෙති දමා විනාඩි කිහිපයක් (විනාඩි 1ක් 2ක් පමණ) පියනකින් වසා තබා වතුර පෙරා ගන්න.පසුව ජෑම් ටික ගෙන කුඩා බදුනකට දමා වතුර තේ හැදි 2ක් එකතු කර මයික්‍රොවේව් අවන් එකේ උපරිම බලයේ (High power - හයි පවර් එකේ) විනාඩියක් තබා හොඳින් කලවම් කර ගන්න. මයික්‍රොවේව් අවන් එකක් නොමැති නම් ජෑම් වලට නටන උණු වතුර තේ හැදි 2ක් දමා කලවම් කර ගන්න.දැන් පෆ් පේස්ට්‍රී ෂීට් එක ගෙන රෝලින් පින් එකකින් 5mm( ½ cm) පමණ ඝනකම සිටින සේ තුනී කර අඟල් 2 පමණ(5 cm) පළල සහ අඟල් 8(20 cm) පමණ දිගු තීරු කපා ගන්න.පසුව පෆ් පෑස්ට්‍රී ෂීට් තීරු වල ජෑම් තවරා පහත ෆොටෝ වල ආකාරයට ඇපල් පෙති එකක් උඩ එකක් වැටෙන සේ ඇපල් පෙති 9-11ක් පමණ එක පෙලට තබා කුරුඳු කුඩු ස්වල්පයක් ඉස ගෙන පේස්ට්‍රී ෂීට් තීරුව නවා ගෙන රෝල් කර ගන්න.දැන් සාදා ගත් ඇපල් රෝස මල් කප් කේක් ට්‍රේ (Cupcake tray) හෝ මෆින් ට්‍රේ (Muffin tray) එකක දමා කලින්  375°F/ 190°C ට කලින් රත් කර ගත් අවන් එකක විනාඩි 35-45ක් පමණ බේක් කරන්න.අවන් එකෙන් එළියට ගෙන නිවෙන්න තබා අයිසින් සීනි ටිකක් උඩින් ඉස ගන්න.


Chicken & Cheese Tart - චිකන් සහ චීස් ටාට්


  අවශ්‍ය දේවල්:


  • පාන් පිටි කොප්ප 3
  • බටර් හෝ මාගරින් 300g (කාමර උෂ්ණත්වයට සිසිල් කර ගත් කැබලි ලෙස)
  • නැවුම් කිරි (fresh milk) කොප්ප ¾
  • ලුණු (රස අනුව)


  පිරවුම (Filling) සඳහා අවශ්‍ය දේවල්:

  • අඹරා හෝ කුඩාවට කපා ගත් කුකුල් මස් 300gකුඩා කොටු හැඩයට කපා ගත් කැරට් කෝප්ප 1/2බෙල් පෙපර් කෝප්ප 1/2තක්කාලි කෝප්ප 1/2තම්බා ගත් ග්‍රීන් පීස් කෝප්ප 1/2චොප් කර ගත් සුදුළූණු තේ හැදි  1චොප් කර ගත් සැල්දිරි තේ හැදි  1ළූනු චොප් කර ගත් මේස හැදි  1මාගරින් මේස හැදි 2ඔරිගානෝ හර්බ්ස් (oregano herbs) තේ හැදි 1/2 - සුපිරි වෙළද සැල් වලින් ලබා ගත හැකිය.ගම්මිරිස් තේ හැදි  1කෑලි මිරිස් තේ හැදි  1සෝයා සෝස් තේ හැදි  1ලුණු (රස අනුව)ගා ගත් (ග්‍රේට් කර ගත්) මෝසරෙල්ලා චීස්

  ටාට් ක්‍රස්ට් (Tart crust) එක සාදා ගන්නා ආකාරය:

මුලින්ම භාජනයකට පිටි සහ ලුණු එකතු කර මිශ්‍ර කර ගන්න.එයට කාමර උෂ්ණත්වයේ තිබෙන බටර් කැබලි දමා ඇඟිලි තුඩු වලින් කුඩා පිටි කැබලි සෑදෙන සේ මිශ්‍ර කර ගන්න.එයටම කාමර උෂ්ණත්වයට සිසිල්ව ඇති නැවුම් කිරි ටිකෙන් ටික එකතු කර හොඳින් අනා ගනිමින් මෘදු පිටි මෝලියක් සාදා ගන්න .දැන් සාදා ගත් පිටි මෝලිය පොලිතින් කොළයකින් වසා ශිතකරනයේ මිනිත්තු 15 ක් පමණ තබා ගන්න.

  පිරවුම (filling) සාදා ගන්නා ආකාරය:

ඒ අතර තුර පිරවුම සඳහා භාජනයක් ලිප තබා රත් කර එයට මාගරින් දමා චොප් කර ගත් ළූණු, සුදුළූණු, ඔරිගානෝ හා සැල්දිරි එක්කර සුවඳ හමන තුරු බැද එයටම අඹරා ගත් කුකුල් මස් එකතු කර, කෑලි මිරිස්, ගම්මිරිස් හා සෝයා සෝස් එකතු කර මිනිත්තු 6 පමණ බැද ගන්න.පසුව මෙයට කැරට්, බෙල් පෙපර්, තක්කාලි සහ ග්‍රීන් පීස් එකතු කර රස අනුව ලුණු එක් කර ගන්න.මෙය තවත් මිනිත්තු 4ක් පමණ පිස ගෙන ලිපෙන් ඉවත් කර ගන්න.

  චිකන් සහ චීස් ටාට් - Chicken & Cheese Tart සාදා ගන්නා ආකාරය:

දැන් ශීතකරණයේ තබා තිබෙන ටාට් ක්‍රස්ට් පිටි මෝලිය එය ගෙන ටාට් තැටියේ හෝ පයි තැටියේ ප්‍රමාණයට වඩා විශාල 1/2 cm පමණ ඝනකම තිබෙන තුනී රවුමක් ආකාරයට තුනී කර ගන්න.ටාට්/පයි තැටියට මාගරින් ස්වල්පයක් තවරා එහි පතුල සහ බිත්ති වැසෙන ලෙස තුනී කර ගත් ටාට් ක්‍රස්ට් පිටි මෝලී රවුම දමා ගන්න.එය තැනින් තැන ගෑරප්පුවකින් ඇන ගෙන කලින් 200°C/400°F රත් කර ගත් උදුනක මිනිත්තු 15 පමණ බේක් කර ගන්න.බේක් කර ගත් ටාට් ක්‍රස්ට් එක අවන් එකෙන් එළියට ගෙන එයට සාදා ගත් පිරවුම දමා ගන්න.එයට උඩින් ගා ගත් (ග්‍රේට් කර ගත්) මෝසරෙල්ලා චීස් හොඳින් අතුරා ගන්න.කැමති නම් වියළි ඔරිගානෝ හර්බ්ස් ටිකක් එයට උඩින් ඉස ගෙන තවත් මිනිත්තු 10 ක් පමණ චීස් දිය වී මදක් පැහැගැන් වෙන තුරු බේක් කර උණුවෙන්ම රස විදින්න.

වැදගත් :

තම තමන්ගේ කැමත්ත සහ රස අනුව විවිධ ආකාරයට සෑදූ පිරවුමක් මේ සඳහා යොදා ගත හැකිය.

Thai Chicken Noodles Soup තායි චිකන් නූඩ්ල්ස් සුප්


  අවශ්‍ය දේවල්:


  • සිහින්ව ලියා ගත් රට ලූණු ගෙඩි 1/2
  • යන්තමින් චොප් කර ගත් ඉඟුරු කෝප්ප 1/4
  • යන්තමින් චොප් කර ගත් සේර කෝප්ප 1/4
  • පෙති කපා ගත් සුදු ලූණු බික් 3
  • තෙල් මේස හැදි 1-2
  • චිකන් ස්ටොක් (Chicken stock) කප් 6 (1400ml)
  • ෆිෂ් සෝස් (Fish sauce) තේ හැදි 1
  • දෙහි කොළ 2-3
  • කුඩා කැබලි කපා ගත් චිකන් බ්‍රෙස්ට් (Chicken breast) හෝ කටු රහිත කුකුල් මස් 400g පමණ.තම්බා තරමක කොටු හැඩයට කපා ගත්අර්තාපල් 200g පමණ
  • ලියා ගත් බටන් මෂ්රූම් (Button mushroom) 50g
  • හාල් පිටි නූඩ්ල්ස්(rice noodles) 80g පමණ
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4
  • චොප් කර ගත් ලූණු කොළ ටිකක්
  • ලියා ගත් රතු පාට අමු මිරිස් කරල් කිහිපයක්
  • දෙහි යුෂ රස අනුව අවශ්‍ය පරිදි
  • ගම්මිරිස් ඇට තේ හැදි ½
  • ලුණු කුඩු (රස අනුව)


  සාදා ගන්නා ආකාරය:

   ලොකු සුදුසු භාජනයක් ගෙන, එයට තෙල් ටික දමා ගන්න.තෙල් රත් වූ පසු ලූණු එකතු කර විනාඩි 3-5 ක් පමණ ලූණු  මෘදු වී රන්වන් පාට වන තුරු සාමාන්‍ය ගින්දරේ හැන්දි ගාමින් පිස ගන්න.දැන් ගින්දර අඩු කර එයටම ඉඟුරු එකතු කර මදක් බැදෙන්න හරින්න.පසුව සේර සහ සුදු ලූණු එකතු කර හැදි ගාමින් විනාඩි 5ක් පමණ පිස ගන්න.ඉන් පසුව එයට චිකන් ස්ටොක්, ෆිෂ් සෝස්, ගම්මිරිස් ඇට සහ දෙහි කොළ එකතු කර පියනකින් වසා ගෙන හොඳින් උතුරන තෙක් පිස ගන්න.දැන් ගින්දර අඩු කර තවත් විනාඩි 20-30ක් පමණ පිස ගන්න. (පියන නොවසා)පසුව ලිපෙන් බා ගෙන පෙරනයකින් පෙරා ගෙන සුප් දියරය වෙන් කර ගන්න.නැවතත් භාජනය ලිප තබා ගෙන පෙරා ගත් සුප් ද්‍රාවණය නටන තෙක් රත් කරන්න.දැන් එයටම චිකන් කැබලි, අර්තාපල්, නූඩ්ල්ස් සහ හතු එකතු කර විනාඩි 10-12ක් පමණ චිකන් කැබලි තැම්බෙන තුරු හැදි ගාමින් පිස ගන්න.පසුව රස අනුව ලුණු කුඩු එකතු කර මද වේලාවකින් ලිපෙන් බා ගෙන උණුවෙන්ම පිළිගන් වන්න.පිළි ගැන්වීමේදී දෙහි යුෂ රස අනුව අවශ්‍ය පරිදි මිශ්‍ර කර කොත්තමල්ලි කොළ, ලියා ගත් රතු අමු මිරිස් සහ ලූණු කොළ උඩින් ඉස ගන්න.

වැදගත් :

කැමති නම් පිළිගන් වන විට අමු බෝංචි අංකුර (Bean sprouts - බීන් ස්ප්‍රවුට්ස් හෙවත් මුල් අද්දපු මුං ඇට) එකතු කර ගන්න.අවශ්‍ය නම් මේ සඳහා කැරට්, ලීක්ස්, තක්කාලි වුව ද එක් කර ගත හැකිය.මෙයට යොදා ගන්නා ගම්මිරිස් ඇට ප්‍රමාණය ඔබට අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගත හැකිය.චිකන් ස්ටොක් (Chicken stock) යනු කුකුල් මස් තැම්බූ ජලය වේ. මෙය වෙළද පොලෙන් ද ලබා ගත හැකිය.මේ සඳහා චිකන් ස්ටොක් (Chicken stock) මෙන්ම චිකන් බ්‍රොත් (Chicken broth) වුවද යොදා ගත හැකිය.මේ සඳහා බටන් මෂ්රූම් (Button mushroom) නොමැති නම් ඔබ කැමති හතු වර්ගයක් කුඩාවට ඉරා ගෙන හෝ කපා ගෙන යොදා ගන්න.

Egg sandwich - බිත්තර සැන්ඩ්විච්


  අවශ්‍ය දේවල්:

  • තම්බාගත් බිත්තර 2ක්
  • තක්කාලි ගෙඩියක්
  • බටර් ස්වල්පයක්
  • අබ ක්‍රීම් ස්වල්පයක්
  • අමු මිරිස කරල් දෙකක්
  • ලූණු 
  • ගම්මිරිස්ස
  • සළාද කොල
  • පාන් පෙති කිහිපයක්

  සාදාගන්නා ආකාරය:

   බිත්තරය හැන්දක් හෝ ග්‍රේටරයකින් සිහින් කැබලි බවට පත්කරගන්න.එයට අබ ක්‍රීම්, බටර්, කුඩාවට කපාගත් ලූණු, අමුමිරිස්, ගම්මිරිස් මිශ්‍ර කරන්නමෙම මිශ්‍රණය පාන් පෙති මත අතුරා සෘජුකෝණාස්‍ර හෝ ත්‍රිකෝණාකාර හෝ කැමති හැඩයකට කපාගන්න.ඒ මත සලාද කොල සහ තක්කාලි පෙති තබා පිළිගන්වන්න.

Mix Vegetable Soup - මිශ්‍ර එළවළු සුප්


අවශ්‍ය දේවල්:

  • ගෝවා ග්‍රෑම් 100 යි
  • බෝංචි ග්‍රෑම් 100 යි
  • ලීක්ස් ග්‍රෑම් 100 යි
  • කැරට් ග්‍රෑම් 100 යි
  • බොම්බයි ළූණු ග්‍රෑම් 100 යි (බොම්බයි ළූණුයි උඩ තියෙන ඔක්කොමයි සුද්ද කරලා කුඩාවට කපාගන්න)
  • බාර්ලි මේස හැඳි 1 යි (සිහින්ව ලියාගන්න)
  • රතු ළූණු 100 යි (සිහින්ව ලියාගන්න)
  • රම්පෙ, කරපිංචාසූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් (තලාගත් මේස හැඳි 1 යි)
  • ලුණු සහ දෙහිවතුර ලීටර් 1 1/2 යි
  • මාගරින් ස්වල්පයක්
  • අවශ්‍ය නම් සුප් කැට 1යි


සාදාගන්නා ආකාරය:

රම්පෙ, කරපිංචා, රතුළූණු දෙහි මාගරින් හැර අන් සියලුම ද්‍රව්‍ය තරමක් ලොකු සාස්පානකට දමා වතුර එකතුකර හොඳින් නටවා තම්බාගන්න. එළවළු හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.(සමහරු මෙය තම්බා පොඩි කර එළවලු කැබලි නොමැතිවද සුප් එකට යොදාගනී. එය ඔබගේ කැමැත්ත හා රස අනුව)සාස්පානට මාගරින් දමා නටවා රම්පේ, කරපිංචා, සහ රතු ළූණු රන්වන් පාටට බැදගන්න. දැන් එම තෙම්පරාදුවටම සාදාගත් සුප් වතුර එක (කැබලිද සමග) එක්කර හොඳින් හැඳිගා උණුවෙන් මේසයට යවන්න.පිළිගැන්වීමට පෙර දෙහි ඇබුල් සුවල්පයක්ද එකතු කරන්න.


මේ ක්‍රමේටත් හදන්න පුලුවන් ඕනෙනම්:

මුලින්ම සාස්පානට මාගරින් දමා නටවා රම්පේ, කරපිංචා, සහ රතු ළූණු රන්වන් පාටට බැද තෙම්පරාදුව සාදා එයට කපා ගත් එළවළු එකතු කර ටිකක් එය මාගරින් සමග බැද ගෙන එයට වතුර, සෝදා ගත් බාර්ලි ඇතුලු සියල්ල හොදින් තම්බා ගෙන රස අනුව ලුණු, ගම්ම්රිස්ද එකතු කරන්න.මේසයට පිළිගන්වන්නට පෙර දෙහි ඇබුල් ස්වල්පයක්ද එකතු කරන්න.



Wednesday, July 5, 2017

රසම රස අර්තාපල් සහ ලීක්ස් සුප්


ඔන්න දැන් ඔයාලාට කියලා දෙන්න යන්නෙ රසම  රස අර්තාපල්, ලීක්ස්,  එහෙම දාපු සුප් එකක් හදාගන විදිහ. බලන්නකෝ එහෙනම් අපේ මේ සුප් එක හදන විදිහ.

අවශ්‍ය දේවල්:


  • අර්තාපල් 350g
  • ලීක්ස් 250g
  • ලියා ගත් රතු ලූණු 50g
  • ලියා ගත් සුදුලූණු බික් 2 - 3ක්
  • එළවළු තම්බා ගත් වතුර (Vegetable stock) හෝ එළවළු සුප් කැට දිය කර ගත් වතුර අඬු කෝප්ප 10 - 12ක් පමණ
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) කප් ¼ - 1ක් පමණ (60ml - 120ml පමණ)
  • බටර් 25g
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)


සාදා ගන්නා ආකාරය:

මුලින්ම අල පොතු හැර හොඳින් සෝදා ගෙන කුඩා කැබැලි වලට කපා ගන්න.ලීක්ස් ටිකත් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන කුඩා කැබලි වලට කපා ගන්න.පසුව සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් ටික දා ගන්න.බටර් රත් වී ගෙන එන විට එයට ලියා ගත් රතු ලූණු, සුදුලූණු, කපා ගත් අල සහ ලීක්ස් ටික එකතු කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කර ගන්න.පසුව එළවළු තම්බා ගත් වතුර එයට එක් කර හොඳින් තම්බා ගන්න.එයටම රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කර ගෙන ලිපෙන් බා ගන්න.දැන් ටිකක් නිවෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.ෆ්‍රෙෂ් ක්‍රීම් උඩින් දමා ගෙන උණුවෙන්ම පිළිගන් වන්න.

වැදගත්:

කැමති නම් පිළිගැන් වීමේදී චොප් කර ගත් ලූණු කොළ, ටෝස්ට් / බේක් කර ගත් කුඩා පාන් කැබලි, සිහින්ව ලියා යන්තමින් තෙම්පරාදු කර ගත් ලීක්ස් ටිකක්, වියළු රොස්මරි ටිකක්, චොප් කර ගත් කොත්තමල්ලි කොළ, ගම්මිරිස් කුඩු වැනි යමක් උඩින් ඉස ගෙන / දමා ගෙන සරසා ගන්න.

Iced Tea - අයිස් තේ


ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහට තේ එකක් හදා ගන්න විදිහ. නිකන් තේ එකක් නෙමේ මේක අයිස් කැට දාපු එහෙම තේ එකක්. මේකට තේ වලට අමතරව, මින්චි කොළ වගේම දෙහි යුෂ එහෙමත් දාන්න තමා යන්නෙ.

අවශ්‍ය දේවල්:


  • සීනි දමා ගත් තේ 1L
  • මින්චි කොළ
  • දෙහි යුෂ මේස හැදි 1
  • දෙහි පෙති කිහිපයක්
  • දොඩම් යුෂ කෝප්ප ½
  • අයිස් කැට



සාදා ගන්නා ආකාරය:

සාමාන්‍ය ආකාරයට තේ සාදා ගෙන නිවෙන්නට කලින් අවශ්‍ය තරමට සීනි දමා ගෙන දිය කර ගන්න.එයටම දෙහි යුෂ හා දොඩම් යුෂ දමා ගෙන නිවුනු පසු ශීතකරණයේ තබා ගන්න.පිළි ගැන්වීමේ දී අයිස් කැට දමා ගෙන මින්චි කොළ ඉත්තක් හා දෙහි පෙත්තක් මඟින් සරසා ගන්න.

Soya Ice Cream - සෝයා අයිස් ක්‍රිම්



අවශ්‍ය ද්‍රව්‍ය:


  • සෝයා කිරි ම්ලි ලිටර් 100ක්
  • අයිසින් සිනි ග්‍රෑම් 150ක්
  • විපින් ක්‍රිම ග්‍රෑම් 200ක්
  • මිල්ක් පව්ඩර් ග්‍රෑම් 75ක්
  • චොකලට් පව්ඩර් ග්‍රෑම් 75ක්
  • ලුනු ටිකක් 
  • වැනිලා ටිකක්
  • කජු ටිකක්


සාදන ක්‍රමය:

මුලින්ම විපින් ක්‍රිම් හොදින් කුල් කර ගන්න.භජනයක් ලිප තබා එයට සෝයා කිරි දමා රත් කරන්න. එයට සිනි එකතු කරන්න.හොදින් රත් කර එයට ලුනු, මිල්ක් පව්ඩර්, චොකලට් පව්ඩර් එකතු කර උකු කර ගන්න.විප් ක්‍රිම් හොදින් බිට් කරන්න. වැනිලා දමා අර කලින් මිශ්‍රණය දමා කලවම් කර කජු කැබලි දාමා පැය 5ක් ෆිසර්(අධි ශීතකරනයේ) එකෙ තබා කැමට ගන්න.


Avocado Ice Cream - අලිගැටපේර අයිස්ක්‍රීම්



හරිම රසයි අලිගැටපේර අයිස්ක්‍රීම්..

අවශ්‍ය දෙවල්:


  • සාමාන්‍ය අයිස් අලිගැටපේර ගෙඩි 2 
  • මිල්ක්මේඩ් හෝ ඕනෑම Sweetened condensed මිල්ක් ටින් 1 (397g)
  • ලෙමන් ජුස් මේසහැදි 2
  • ලුණු  චුට්ටක්
  • Heavy Cream කප් 2 (450g)- හෙවි ක්‍රිම් සුපර්මාර්කට් වල ගන්න තියෙනවා. හොයාගන්න බැරි උනොත් ෆ්‍රේෂ් මිල්ක් අරගෙන හොදට උකුවන තුරු බීට් කර දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.


සාදාගන්නා ආකාරය:

මුලින් අලිගැටපේර ගෙඩිය සුරා ගෙන බේලෙන්ඩර් එකට දමා ගන්න.එකටම ලුණු ටිකක්, මිල්ක්මේඩ් ටින් 1 හා ලෙමන් ජුස් ටික දමා හොදින් ස්මුත් (මෘදු) වනතුරු බේලෙන්ඩ් කර ගන්න.දැන් හොදින් බේලෙන්ඩ් කර ගත් අලිගැටපේර මිශ්‍රණය බදුනකට දමා ගන්න.දැන් Heavy Cream එක වෙනම බදුනකට දමා, කේක් බීටර් එකෙන් හොදට බීට් කර ගන්න.පසු බීට් කර ගත් Heavy Cream එක, අලිගැටපේර මිශ්‍රණයට ටික ටික දමා හොදින් හැන්දකින් මිශ්‍ර කර ගෙන, සුදුසු ප්ලාස්ටික් බදුනකට දමා, ප්‍රිසර් කරන්න.මේ අයිස්ක්‍රීම් එක පැය 5 - 6 ප්‍රිසර් (ෆ්‍රිජ් එකේ) එකේ තියා හොදින් සෙට් වු පසු කෑමට  ගන්න.



Pina-Colada Cheese Cake - පින කෝල්ඩා චීස් කේක්


චීස් පාවිච්චි කරලා හදමුද රසම රස චීස් කේක් එකක්?

අවශ්‍ය දේවල්:

බේස් එක සඳහා:

කුඩු කරගත් බටර් කුකීස් 15ක්
ගාගත් පොල් කප් 1
දියකරගත් බටර් මේස හැඳි 3

පිරවුම සඳහා

ක්‍රීම් චීස් 600g
සීනි කප් 3/4
පොල් ක්‍රීම් කප් 3/4
කිරි මේස හැඳි 3
අන්නාසි එසන්ස් තේ හැඳි 3/4
මඳක් බීට් කරගත් බිත්තර 3

ටොපින් එක සඳහා

මැද නාරටිය ඉවත් කල අන්නාසි ගෙඩි 1/2
අන්නාසි ජෑම් මේස හැඳි 4

සාදාගන්නා ආකාරය:

බෝල් එකක් ගෙන කුකී කුඩු සහ පොල් මිශ්‍ර කරගන්න. එයට බටර් එක් කර හොඳින් කලවම් කරගන්න.වටේ ගැලවිය හැකි ස්ප්‍රින් ෆොර්ම් පෑන් එකක් ගෙන එහි අඩියට සහ වටේට ෆොයිල් කොළ අතුරා ගෙන සාදාගත් මිශ්‍රණය දමා තුනී කර හොඳින් තද කරගෙන සෙල්සියස් 160ට විනාඩි 10ක් බේක් කරගෙන නිවෙන්න තබන්න.වෙනම බඳුනක චීස් සහ සීනි මෘදු වන තුරු බීට් කරගන්න. එයට පොල් ක්‍රීම්, කිරි සහ එසන්ස් එක් කර අඩු වේගයකින් බීට් කරගන්න.පෙර බේක් කරගත් නිවුනු බේස් එක උඩින් මෙය වක් කරගෙන එම තැටිය තවත් උණු වතුර සහිත තැටියක් මත තබා සෙල්සියස් 180ට විනාඩි 45ක් පමණ බේක් කරගන්න.වතුර තැටියෙන් එය ඉවතට ගෙන මඳක් නිවෙන්න තබා පිහියකින් වටේ බුරුල් කර හොඳින් නිවුණු පසු පැය 4ක් ශීතකරණයේ තබා ගන්න.අන්නාසි බාගය ඉතා සිහින්ව පෙති කපා ශීත කරගත් කේක් එක උඩින් අතුරා එය උඩින් අන්නාසි ජෑම් තවරා නැවත පැය 2ක් ශීත කර පිළිගන්වන්න.

වැදගත්:

ක්‍රීම් චීස් සහ අන්නාසි එසන්ස් සුපර්මාකට් වල, කේක් බඩු කඩවල ගන්න තියෙනවා.

Chocolate Lava Cake - චොකලට් ලාවා කේක්


ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ රසම රස කේක් එකක් හදන විදිහ. මේ කේක් එකට කියන්නෙ "චොකලට් ලාවා කේක්" කියලා. කේක් එකෙන් කැල්ලක් කඩපුවහම ගිණි කන්දක් පිපුරුවා වගේ තමයි ඉතින්. ඒ කියන්නේ මේ කේක් එක ඇතුලේ තියෙන චොකලට් ටික, ගිණි කන්දක ලාවා වගේ කේක් එක ඇතුලෙන් කඩපු තැනින් එලියට එනවා. බලමු බලමු එහෙනම් හදන්නේ කොහොමද කියලා නේද..

අවශ්‍ය දේවල්:


  • ඩාක් චොකලට් (Dark Chocolate) 226g
  • බටර් 115g
  • බිත්තර 3
  • අයිසිං සීනි 100g
  • පාන් පිටි 60g (පෙනේරයකින් හලා ගන්න)
  • වැනිලා (Vanilla) තේ හැදි 1


සාදා ගන්නා ආකාරය:

මුලින්ම ඩබල් බොයිල් ක්‍රමයට  ඩාක් චොකලට් ටිකයි බටර් ටිකයි එකට දලා දිය කර ගෙන, හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්න ඕනෙ.ඊට පස්සෙ භාජනයකට බිත්තරයි අයිසිං සීනියි දාලා විනාඩි 2 - 3ක් විතර හොඳට බීට් කර ගන්න ඕනෙ.දැන් කරන්න තියෙන්නෙ ඒකටම වැනිලා එක් කරගෙන, තව ටිකක් බීට් කරලා, කලින් දිය කර ගත් චොකලට් මිශ්‍රණයටම දා ගෙන කලවම් කර ගන්න එක.ඊට පස්සෙ ඒකටම පාන් පිටි ටික දා ගෙන හැන්දකින් පෙරලමින් කලවම් කර ගන්න ඕනෙ.ඊට පස්සෙ බේක් කරන්න පාවිච්චි කරන අවුන්ස 6 (178ml) සෙරමික් භාජන (Ramekins) 4කට හරි ඇලුමිනියම් කප් 4කට හරි, බටර් ටිකක් ගා ගෙන, කලින් හදා ගත්ත කේක් මිශ්‍රණය ඒ කප් ටිකට එක ගානට දාලා පුරවා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ.දැන් කරන්න තියෙන්නෙ කලින් 200°C / 400°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක විනාඩි 12 - 15ක් පමණ මේ කේක් ටික බේක් කර ගන්න එක.ඔන්න දැන් වැඩේ ඉවරයි. අන්තිමට බේක් කර ගත් කේක් ටික කප් වලින් ඉවත් කර ගෙන උණුවෙන්ම කන්න තම්යි තියෙන්නෙ ඕන්. හීනි පිහියක් පාවිච්චි කරලා කේක් ටික කප් වලින් බුරුල් කර ගන්න. නැත්නම් කැඩිලා යයි. මේ කේක් එක ඇතුල ටිකක් දියාරුයිනෙ.

වැදගත්:

කැමති නම් මේ කේක් වැනිලා අයිස් ක්‍රීම් (Vanilla Ice Cream), කස්ටඩ් ක්‍රීම් (Custard Cream), විපින් ක්‍රීම් (Whipping Cream) වැනි දෙයක් සමඟ උණුවෙන්ම පිළිගන් වන්න පුළුවන්.ඩබල් බොයිල් (Double Boil) ක්‍රමය කියන්නෙ කුඩා බදුනකුයි, එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනකුයි ඇරගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා හෝ ජලය මත තබා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි දියකර ගන්න එකට.ඩාක් චොකලට් සුපර් මාකට් වල, කේක් බඩු කඩවල් වල ගන්න තියෙනවා.

රසම රස ජෙලි ලේයර් පුඩිම


ඔන්න අද කට්ටියට රසම රස ජෙලි ලේයර් පුඩිමක් ගෙනාවා. මේක කන්න හිතෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි.

අවශ්‍ය දේවල්:


  • කැමති පාටවලින් ජෙලි කිහිපයක් (මම ගත්තේ ස්ට්‍රෝබෙරි සහ ග්‍රීන් ඇපල් රස ජෙලි)
  • පොඩි මිල්ක්මෙඩ් ටින් 1ක්
  • ජෙලටින්මේස හැදි 2 ක්
  • උණුවතුර කප් 2 ක්



සාදාගන්නා ආකාරය:

ජෙලි පැකට්ටුවේ ඇති උපදෙස් වල දක්වා ඇති වතුර ප්‍රමාණයට වඩා 50ml හෝ 100ml පමණ අඩුවෙන් වතුර භාවිතා කර ජෙලි සාදාගන්න. එම ජෙලි දියරය හොදින් නිවෙන්නට හරින්න. එතකොට ජෙලි සෙට් වෙන්න පහසුයි.සුදු පාට ලේයර් සදහා උණුවතුර කප් දෙකක් ප්‍රමාණයට ජෙලටින් මේස හැදි 2 දමා හොදින් දිය කරගන්න. ඉන්පසු එයට මිලක්මේඩ් එකතු කර හොදින් මිශ්‍ර කර හොදින් නිවෙන්නට තබන්න (රස්නේ තිබුණොත් ජෙලි දියවෙන නිසා). මයික්‍රොවේව් එකේ පොඩ්ඩක් රත් කරලා ගත්තම ජෙලටින් හොදට දිය වෙනවා.ඊළගට පුඩිං එක දමා ගන්න භාජනයක් ගෙන හොදින් බටර් තවර ගන්න.  මුලින්ම ජෙලි තට්ටුවක් දමා සෙට් වෙන්න ශීතකරණයේ තියන්න.එය හොදින් සවි වූ පසු හොදින් නිවුන මිල්ක්මෙඩ් ලේයර් එකක් එකතු කරන්න. එයත් ශීතකරණයේ තබා හොදින් සෙට් වූ පසු තව ජෙලි තට්ටුවක් දාන්න. මේ විදියට මිශ්‍රණ ඉවර වෙනකල් මාරුවෙන් මාරුවට මේ ආකාරයට ලේයර් දමා ගන්න.ඉන්පසු හොදින් සවි වූ පසු පරිස්සමෙන් අනිත් පැත්ත හරවා ගන්න.
වැදගත්:
මේ ලේයර්ස් සමානව හෝ අඩු වැඩි කරගන්න. ලස්සනට තියේවි. පාට කිහිපයක් එකතු උනාමත් ලස්සනයි.

වටලප්පන්


අවශ්‍ය දේවල්:

  • කලු සීනි (Dark Brown Sugar) 225g( ඒක නැතිනම් වෙනත් දුඹුරු පාට සීනි වර්ගයක් ගන්න.)
  • Black treacle තේ හැඳි 1 (මේකෙන් හකුරු රස ලැබෙනවා. පාටක් ටිකක් වැඩි වෙනවා. ඒත් නොදැම්මට කමක් නෑ)
  • උකු පොල් කිරි 160ml (ප්‍රෙෂ් මිල්ක් වුණත් කමක් නෑ. විපින් ක්‍රීම් සහ ප්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයක් දැම්මමත් ගොඩක් රසයි)
  • බිත්තර 4ලාවට රෝස්ට් කල කජු ටිකක්සුවඳ කුඩු ටිකක් (එනසාල්, කරදමුංගු, වසාවාසි ටිකක් කුඩු කර ගන්න)
  • කැරමල් එකට ඕනෑම පාටක සීනී මේස හැඳි 4 සහ වතුර තේ හැඳි 1ක් ඕන. (මේක කැරමල් එකට විතරයි. වටලප්පන් හදන්න ගන් නෑ.)



සාදාගන්නා ආකාරය:

මුලින්ම කැරමල් එක හදමු: (නොදන්න අය කැරමල් කියන්නෙ සීනි උණු කරලා හදාගන්න පැණි වලට කියලා හිතා ගන්නකෝ)

ඕනෑම පාටක සීනී මේස හැඳි 4 සහ වතුර තේ හැඳි 1 බාජනයක දමා හැඳි ගාන්නේ නැතිව දුඹුරු පාට වන තුරු මඳ ගින්දරේ තබන්න.සීනි දුඹුරු පාට විගෙන එන විට යාන්තමින් හැඳි ගාමින් අවශ්‍ය දුඹුරු පාට වන තුරු තබා ලිපෙන් බා ගන්න.කැරමල් සාදා වටලප්පම දමන බාජනයේ පතුලේ සහ වටේ පතුරුවා ගන්න. මේකෙන් වටලප්පම ලස්සන පැණි දුඹුරු පාටක් වෙනවා.

හරි ඔන්න දැන් හදමු එහෙනම් වටලප්පන්:

භාජනයක කිරි සහ සීනි දිය කරන්න. එය පෙරා ගන්න. සමහර සීනි වර්ග වල රොඩු, වැලි කැට තියෙනවා.බිත්තර ටිකත් බීට් කර සීනි කිරි මිශ්‍රණයට එකතු කරගන්න.කජුත් සුවඳ කුඩුත් එයට එකතු කර අවන් එකේ තියන්න පුලුවන් බාජනයක දමා ඇලුමිනියම් ෆොයිල් එකකින් (හෝ බේකින් ෂීට් එකකින් වසා නූලකින් ගැට ගසන්න) වසන්න.මේ බඳුන එයට වඩා ලොකු තැටියක් ඇතුලේ තබා ලොකු තැටියට නටන වතුර අඟල් 1ක් පමණ උසට දමා 200°C විනාඩි 40-45 පමණ බේක් කරන්න. වටලප්පම නිවුණු පසු පැය 2 පමණ ශීතතරණයේ තබන්න.වටලප්පම වටෙන් පිහියකින් බුරුල් කර සංග්‍රහ කරන දීසියට අනිත් පැත්ත හරවා දමන්න. දැන් ලස්සන දුඹුරු පාටට තියෙනවා.මෙය කෑලි කපා සංග්‍රහ කරන්න පුලුවන්. මේ ප්‍රමාණය 6-8 දෙනෙකුට පමණ ප්‍රමාණවත්.

Tuesday, June 27, 2017

මැකරෝනි කුකීස්



මැකරෝනි කුකීස් සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:

  • අයිසින් සීනි (Icing sugar) 200g
  • ආමන්ඩ් පිටි (Almond flour) 100g
  • කාමර උෂ්ණත්වයේ පවතින බිත්තර සුදුමද 120g (ලොකු බිත්තර 3ක පමණ බිත්තර සුදුමද)
  • ලුණු කුඩු තේ හැදි 1/8 
  • සීනි 40g (මේස හැදි 3)
  • කැමති පාටකින් කලරින් (Coloring) බින්දු 1-3ක්
  • කැමති රස කාරක වර්ගයකින් තේ හැදි 1/2ක්

බටර් අයිසිං සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:

  1. අයිසිං සීනි (Icing sugar) 100g
  2. බටර් (Butter)/ මාගරින් (Margarine) 200g
  3. වැනිලා (Vanilla) තේ හැදි 1/2ක්

සාදා ගන්නා ආකාරය:
ආමන්ඩ් පිටි සහ අයිසිං සීනි මිශ්‍ර කර දෙ තුන් වරක් හොඳින් පෙනේරයකින් හලා ගෙන පසෙකින් තබන්න.
පසුව වීදුරු බෝල් එකක් හෝ සුදුසු භාජනයක් ගෙන එයට බිත්තර සුදුමද සහ ලුණු දමා ගෙන බීටරයේ මැද වේගයෙන් විනාඩියක් පමණ හොඳින් බීට් කර ගන්න.
ඉන් පසුව බීටරයේ උපරිම වේගයෙන් විනාඩි 3ක් පමණ පුළුන් මෙන් පෙණ කැටි කදු මෙන් නගින තෙක් ගසා ගන්න. (අනවශ්‍ය ලෙස ඕනවට වඩා බීට් නොකරන්න.)
එයටම වරකට සීනි මේස හැන්ද බැගින් එකතු කරමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න. (අනවශ්‍ය ලෙස ඕනවට වඩා මිශ්‍ර නොකරන්න.)
දැන් එයට කලරින් සහ රසකාරක ද එකතු කර බීටරයේ අඩුම වේගයෙන් මදක් බීට් කර ගන්න.
ඉන් පසුව කලින් හලා ගත් අයිසිං සීනි සහ ආමන්ඩ් පිටි හැන්දක් ආදාරයෙන් මෘදුව පෙරලමින් මිශ්‍ර කර ගන්න. (මෙවිට මදක් ඇලෙන සුළු, යන්තමින් දිලිසෙන, ඉතා මෘදු මිශ්‍රණයක් ලැබේ.)
පසුව සාදා ගත් මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ විනාඩි 10 - 30ක් පමණ තබන්න (මිශ්‍රණය නොවසා තබන්න.)
අනතුරුව බේකින් ට්‍රේ (Baking tray) එකකට හෝ සිලිකන් මැට් (Silicon mat) එකකට බේකින් පේපර් (Baking paper) 1ක් දමා ගන්න.
දැන් පයිපින් බෑග් (Piping bag) එකක් ගෙන සාදා ගත් මිශ්‍රණය පුරවා ගෙන අඟල් 2ක් පමණ විෂ්කම්බය ඇති රවුම් දමා ගන්න.
ඉන් පසු මෙම බේකින් ට්‍රේ එකට හෝ සිලිකන් මැට් 1ට දමා ගත් මැකරෝනි මිශ්‍රණය විනාඩි 45ක් - පැයක් පමණ වේලාවක් අවන් එකේ බේක් කිරීමට පෙර කාමර උෂ්ණත්වයේ තබා තියන්න.
පසුව කලින් 325°F/ 163°C ට රත් කර ගත් අවන් එකක විනාඩි 10 බේක් කර ගන්න.(බේක් කරන අතර තුර විනාඩි 5 සීමවට පැමිණි විට ට්‍රේ එක හරවා ගන්න.)
මැකරෝනි කුකීස් බේක් වන අතර තුර  අයිසින් සීනි, බටර්/මාගරින් සහ වැනිලා භාජනයකට දමා හොඳින් බීට් කර ගෙන බටර් අයිසිං සාදා ගන්න.
අවසානයේ දී මැකරෝනි කුකීස් හොඳින් නිවුනු පසු කුකීස් 2 බැගින් ගෙන බටර් අයිසින් වලින් සැන්ඩ්විච් කර ගන්න.

වැදගත්:
මෙහිදී යොදා ගන්නා බිත්තර සුදුමද භාවිතා කිරීමට පෙර බිත්තර කඩා සුදුමද බිත්තරෙන් ඉවත් කර පැය 2ක් 3ක් කාමර උෂ්ණත්වයේ තබා තියන්න.
මෙහි දී රසකාරක ලෙස ආමන්ඩ් එසන්ස් (Almond essence), වැනිලා (Vanilla), රෝස වතුර (Rose water) වැනි දේවල් භාවිතා කළ හැකිය.
මැකරෝනි කුකීස් සැන්ඩ්විච් කිරීම සඳහා කැමති වර්ගයක අයිසිං (Icing), චොකල්ට් ක්‍රීම් (Chocolate cream), ජෑම්(Jam), විපින් ක්‍රීම් (Whipping cream), පීනට් බටර් (Peanut butter), ක්‍රීම් චීස්(Cream cheese) ආදිය භාවිතා කළ හැකිය.

රසම රස බිස්කට් පුඩිමක්


"ඔන්න අද මම අරගෙන ආවෙ පැය 1/2 කින් විතර හදාගන්න පුලුවන් පොඩි කෑමක්. මෙන්න තියෙනවා ඕන කරන දේවල්."

අවශ්‍ය දේවල්:

  • උකු ටින් කිරි පොඩි ටින් 1
  • ක්‍රැකර් බිස්කට් 200g (කුඩු කරගත්)
  • බටර් 100g
  • රතුපාට ජෙලි 100g
  • ජෙලටින් මේස හැදි 1
  • ලෙමන් යුශ මේස හැදි 1



සාදාගන්නා ආකාරය:

පලමු ලේයර් එක- බටර් හා ක්‍රැකර් බිස්කට් මිශ්‍ර කර ඔයාල හදාගන්න තැටියෙ යටට තද කර එය සවි වෙන තුරු මිනිත්තු 20 ක් විතර ශීතකරණයේ තියන්න.දෙවන ලේයරය- උණු වතුර කෝප්ප 1/2 ක ජෙලටින් දිය කරගන්න. ඉන් පසු ටින්කිරි සහ ලෙමන් යුශ එකට මිශ්‍ර කරගන්න.ඊට පස්සෙ අර කලින් හදාගත්ත බිස්කට් තට්ටුව උඩින් දාගන්න. ඊට පස්සෙ ආයෙත් එක ශීතකරනයට දාගන්න.තෙවන තට්ටුව- දැන් හදාගන්න රතුපාට ජෙලි එක (ජෙලි පැකට් එකේ සඳහන් කරලා තියෙන විදිහට හදාගන්න ජෙලි එක) පස්සෙ අර කලින් ටින්කිරි තට්ටුව උඩින් දාගෙන අයෙමත් ශීතකරණයට දාගෙන ටිකක් කූල් උනාට පස්සෙ කන්න තමයි තියෙන්නෙ.අහ් ලස්සනට සරසගන්නත් අමතක කරන්න එපා. මොකද ඕනම කෑමක් කන්න කලින් ඒ කන කෙනාගෙ ඇස් දෙකයි පිනවන්න ඕනේ මොකද එතකොටයි ඒ කෑම එක කන්න හිතන්නෙ.

සීනි සම්බල්

   ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ රසම රස සීනි සම්බල් එකක් හදාගන්න විදිය.. මේක අපි බාගත්තේ අපේ අම්මා යූ ටියුබ් චැනල් එකෙන්.. මේකේ හරිම පැහැ...